උත්පලා

 



පාත්‍ර වර්ගයා

උත්පලා                 - ප්‍රධාන චරිතය
අනුරුද්ධ               - උත්පලාගේ පෙම්වතා
චන්ද්‍රලේඛා           - උත්පලාගේ මෑණියන්
උපාලි                     - උත්පලාගේ පියාණන්
නන්දිය                  - උත්පලාගේ ස්වාමියා
කෝසල                 - නන්දියගේ මිතුරා
සාමා                      - උත්පලාගේ සේවිකාව


පළමු අංකය

සූත්‍රධර:-දඹදිව් තලයේ උදේනි නුවරෙක
සඳලෙක හා උපාලි සිටු දාවට
ඉපදුණි රූමත් දියණිය උත්පල  
බැබලෙති සඳ ලෙස ඇය නුවණින් වුව

තමගෙයි සිටිනා එකම දියණියව
පාවා දෙන්නට මාපිය අදහස
කුලවත් ධනවත් කෙනෙකිය සුපතල
එයමය දෙදෙනගෙ පැතුමන් සැමදින

උත්පලා:- (කල්පනා කරමින් සිට)
සිටියොත් යෙහෙකිය මා හට පෙම්බර
අවංක හා මා තේරුම් ගතහැකි
වේනම් තරුණෙකු අවංක මාහට
එයමගෙ පැතුමයි තරුණෙකු සුන්දර

සූත්‍රධර:- ගතවනවිට දින සතියෙන් කල්ගත
පෙම්වත හමුවිය කුමරිට පැතුලෙස
මාපිය පැතුමට සරි නැති වුව එය
ආලය පැවතුණි නොඅඩුව නොවඉඩ

උපාලි:- ( උත්පලාව අමතා)
අසනුය දියණිය ඔබ විය වැඩිවිය
යෙහෙකිය දැන් අත ගැණුමට කුමරෙක
ඔබහට සෙයුලෙස ධනවත් කුමරෙක
අපහට හමුවිය වෙළෙදෙකු සුපතල

චන්ද්‍රලේඛා:- නන්දිය නම් වේ ඔහුගේ නාමය
රට රටවල යයි කරනට වෙළදම
යෙහෙකිය ඔබටත් වැජඹෙනු පතලව
සරණට යනු මැන ඔහු හා දියණිය

උත්පලා:- සොලොස් වසක් වේ වැඩිමළු ඔහු මට
නොහැකිය ඔහු හා විසුමට මව්තුම
මා වෙමි විසිවස සපිරුණු මේ වස
නොහැඟෙද ඔබලට අප සරි නොම වඟ

කෙතරම් ධනයක් තිබුණත් කුමකට
නැතිවුවහොත් මට ඔහු ළඟ සැනසුම
මනසින් නිදහස් තැනකට මගෙ හිත
දෙන්නම් මාපිය දෙපලනි පෙම්බර

උපාලි:- විරුද්ධ නොව මැන අපහට දියණිය
ඔබවෙය අපගේ වටිනා සම්පත
ඔබට යහපතක් සැලසෙනු පිණිසය
ඔබගේ හෙටදින සලසන්නේ අප

සූත්‍රධර:- එලෙසය උත්පල කුමරිය රූබර
මතකෙට නගණුය ඔබගේ ඉරණම
එහි ලියවී ඇත පෙර කළ කර්මය
පටිසන්දෙන බව ඔබහට මේකල
මාපිය හට මේ ලෙස වී විරුද්ධ
පටිසන් දේදෝ කර්මය වැඩිපුර

උත්පලා:- දන්නෙමි මා එය මාගේ ඉරණම මව්පිය හට මම වේය ප්‍රාණසම
ඔවුනට නොහැකිය දීමට මට දුක  එලෙසම මා ප්‍රිය පෙම්බර අනුරධ

( මව්පියන් අමතා )
එරෙහි නොවෙමි මම ඔබලගෙ බසකට
එනමුත් ඇත පවසන්නට කාරණ
පෙම්වතෙකුන් ඇත දැනටම මා හට
ඔහුට රුචියි මම වෙනකෙකු හටනොව

චන්ද්‍රලේඛා:- පවසනු නොපැකිල ඔහුගේ නාමය
දැනගනු කැමතිය ඔබගේ තේරුම

උත්පලා :- ඔබ දෙපලත් හොඳ හැටියෙන් දන්නා
අයෙකු වේය ඔහු අපගේ නුවරම
කුඩාකල සිටම මා හා කුළුපඟ
අනුරුද්ධයි ඒ මාගේ පෙම්වත

උපාලි :- වෙනකෙකු සිටියේ නොමැතිද ඔබහට
තෝරාගැනුමට ලෙස ඔබෙ පෙම්වත
ඔහු කෙලෙසද ඔබ පෝෂණ කරනුයෙ
දුප්පතෙකුය ඔහු
දුක්ඛිත දිවි ගතකරමින් සිටිනා
අඥාණය ඔබගේ මේ තේරුම
නවතා දමනුය ඔබගෙ සබඳකම

චන්ද්‍රලේඛා :- සත්‍යයකි දියණිය පියතුමගේ බස
සරිවුව ඔහු ඔබගේ රූපයකට
සරිවුව ඔහු ඔබගේ සම ගුණයට
නොහැකිය ඔහුහට ඔබ දිවි රැකුමට

උත්පලා :- රූපෙන්, ගුණයෙන් පමණක් නොව අප
ආත්මයෙන් වුව සමවේ මෑණිය
ඔහුවේ මාගේ මිතුරුද පෙරසිට
අප හදුනමු අප හොඳහැටි කදිමව

උපාලි:- බොලදයි දියණිය ඔබගේ ප්‍රේමය
ප්‍රේමය පමණක් නොම වේ දිවියම
ඔබටම වැටහෙයි පසුවට ඒ දෙය

සූත්‍රධර  :- මාපිය ඔබහට ගෙන ආ ඇරයුම
නොපිළිගැනුම ඔය ලෙස කළ හැකි වෙද
ඔවුන්ගෙ වස්තුව ඔබවෙය වටිනම
සිත්රිදවා දිවි සුන්දර වන්නෙද

උත්පලා :- අනුරධ අමතක කෙරුම කෙලෙස වුව
උගහට වෙය පෙම්කළ ලෙස ඔහු වෙත
අවසන ඔහු හා සාකච්ඡා කොට
පවසන්නම් මා අවසන් තීරණ

දෙවන අංකය

(මාපියන් නොසතුටෙන් නික්මව යයි.උත්පලා අනුරුද්ධව හමුවීමට ගංගා නදිය අසබඩ සුන්දර පෙදෙසකට පැමිණේ.)

උත්පලා :- කීමට වැදගත් දෙයක් ය  ඔබහට
චංචල කරවන වදන් පෙළකි එය
ඔබගේ සිත්මල පෙළනා එවදන්
කීමට සිත සකසාගනු කෙලෙසද

අනුරුද්ධ  :-

නොසිතනු මැන ඒ ලෙස මා පෙම්වත
ඔබගේ සිතතුළ කකියන ඒ දෙය
මා හට පවසා අන් හැම දින ලෙස
සිත සැහැල්ලු කර ගනු මැන පියවත

උත්පලා :- අප දෙදෙනාටම අසුභය වුව එය
විසඳා ගැනුමට නම් ඒ ගැටළුව
ඔබ පැවසූ ලෙස නොපැලකිළ මා සිත
පවසන්නෙමි මම එහෙනම් පෙම්වත

මාගේ මව්පියො දෙදෙනා එක්වී
ගෙනාවේය මට මංගල යෝජන
හිදිනා මෙනුවර වෙළෙදෙකු ධනවත්
නමින් නන්දියයි සුපතල ලෝ තුළ

අනුරුද්ධ :- සැබෑවද එය නොහැක අදහනු
කාසිනම් ඇත ඔහුට නොඅඩුව
වදිනු කෙලෙසද ඔහු හා තරඟෙට
ලබා ගැනුමට මප්‍රිය පෙම්වත
ඉතා දුප්පත් අයෙක් වෙමි මා
ඔහුත් සමඟින් මනින කල්හි
පුලිඟු කැටයක් ලෙසින් දිස්වන

උත්පලා :- මව්පියන් කී ලෙසට පෙම්වත
ඔබත් නොකියව
පෙලෙයි මා සිත - බොහෝ දුකකින
ඔබත් සමඟින් පෙමින් බැඳුණේ
මඟින් හැරදා නොවෙයි යාමට

අනුරුද්ධ :- ( ඇගේ හිස අතගා )
දනිමි මා පිය උත්පලාවනි
ඔබේ ආලය මුලාවක් නොව
වසර ගණනක් එක සිතින් මට
ආලෙ කරමින් සවිය වූයේ
ඔබයි සැමවිට

මෙතෙක් කල්මට නැත ඔබෙන් වී
කිසිඳු වරදක්
කදිම වාරය
අත්ව ඇත්තේ ඔබට නම් මෙය
යන්න ඔහුවෙත - ඉන්න සතුටින
එයයි මම ලද එකම සැනසුම
වෙනුවෙන්ම ඔබ

යම් තැනක ඔබ - තුටින් ඉනු වෙද
එයයි මා ලද එකම සැනසුම
නමට මා ප්‍රිය උත්පලාවනි

උත්පලා :- නොකියන්න ඔබ එවන් වදනක්
ඔබේ සුමදුර ප්‍රේමය ම හැර
යන්නෙ කෙලෙසද ඒ වෙළඳු වෙත
වේය ඔහු මැදි වියෙහි වෙසෙනා
වැඩිය වැඩිමළු බොහෝ මට වැඩි

අනුරුද්ධ :- බලනු මා දෙස සෙනෙහෙබර ලිය
ඔබට ආලය පුදමි සැමකල
නරක නොමවෙයි මගේ ප්‍රේමිය
යන්න ඔහුවෙත පුදමි අවසර

මගේ ළඟ ඔබ නැවතුනොත් තව
ඉසුරු නොමවෙයි ඔබට සැමකල
මදිවි නිමවන තුරුම උපයන
වැටුප ඔහුළඟ රැදෙයි එකදින
එවන් අයෙකුගෙ බිරිය වන්නේ
මගේ ප්‍රේමිය ඔබයි හෙටදින

නොතැවෙන්න මා උත්පලාවනි
ඔබගෙ සැප මා සැප ද වන්නේ
ඉතිං යනුමැන ඔහුගෙ මැඳුරට
ඔබේ මව්පියො සතුටු කරමින

මෙයයි අප දෛවයෙන් ලද දේ
වෙනත් භවයක වන්න මාගෙම
කිලිටු නැත ඔබ මගේ සඳවත
පිපෙනු හෙටදින ඔහුගෙ මැඳුරේ
සුවඳ පතුරා පිච්ච කැකුළිය

සූත්‍රධර:- කෙලෙස නම් සිත බැඳී තිබුණ ද
නොහැක අයිතිය ලබාගන්නට
දෛවයෙන් ලියවුණු දෙයින් පිට
මහඹබා මැවු ලෙසින් ඉටුවෙයි
පෙර කර්මය ද එක්ව එයට ම

( අනුරුද්ධ හා උත්පලා බොහෝ වේලාවක් වැළඳගෙන සිටී. අනුරුද්ධ උත්පලාගේ සිත සනසයි. කදුලු සඟවා ඔවුන්ගේ සබදකම නිමකර, ප්‍රේමය සෙතෙහි ගුලිකර නික්මව යයි.)

තෙවන අංකය

සූත්‍රධර ;- චන්ද්‍රලේඛා උපාලි ද හා
සතුට උතුරන දිනය එළඹිය
උත්පලාවන් කුලකුමරි වී
වෙළඳ නන්දිය සමඟ නික්මෙන

උත්පලාවගෙ සිතෙහි නම් නැත
කිසිඳු සතුටක් විවාහය ගැන
කදුලු සඟවා වැඩියෙ කුලගෙට
නොරිදවා බැරි නිසයි දෙගුරුන

උත්පලාවනි,
නොවනු දුක්බර
එයයි ඔබ රැගෙන ආ දෛවය
බලනු නෙත්හැර ඉසුරු පිරි  හෙට
ඔබය පසිදු වු වෙළඳ නන්දිගෙ
බිරිද තනතුර ලැබුවෙ අද දින
වෙනත් ලඳකට ඇතිද ඒ සැප
ඔබ රැගෙන ආ මහිමයයි එය

( විවාහ වී ටික දිනකින් නන්දිය වෙළදුන් වෙළදාම සඳහා වෙනත් රාජ්‍යයකට නික්මව යයි. උත්පලාවන් නන්දිය මැදුරේ සාමා නැමති සේවිකාව ද සමඟින් තනිවෙයි.)

වසර දෙකකට පසු

උත්පලා :- ( සේවිකාව අමතා )
මාගෙ ස්වාමියා වෙළඳාමෙ ගොස්
දෙවසරයකුත් තවත් තෙමසක්
ගෙවුණි අදදින
නැවත එනබව පැවසීය ඔහු
දෙවසරයකින් එදා යන දින

සාමා :- එසේනම් ඔහු ඒවි කුමරිය- බියනොවී ඔබ සිටිනු දේවිය
නොමැති ඇත ඔහු හට නිවනයක්
දකින තුරු මනබදන දේවිය
ඉවසා සිටිනුය ඒවි ළඟදිම
නානා අභරණ, සිනිඳු සළුපිළි, රසභොජුන් සැම රැගෙන ඔබවෙත

සූත්‍රධර :- විවාපත් වූ අළුත ඒ ලෙස
ඔබව දාලා යාම යෙහෙකිද
අනුරුද්ධ හට ඔබ වටින මුත්
නන්දි වෙළෙඳුට ඔබ නොවටිනු ද

උත්පලා :- ( තනිව කල්ගෙවනා විට අනුරුද්ධ හා හෙවුණු කාලය සිහියට නැඟේ.)

එදා පෙම්වත් අනුරුද්ධ හා
ගෙවූ කාලය කොතෙක් සොඳුරුද
නොතිබුණත් මහ කාසි ඔහුළඟ
ඉතිරුවා ඔහු අසල ආලය

දිනපතා අප හමුනොවුණ මුත්
ඔහුගෙ පණිවුඩ ලැබුණා මා හට
මසිත පෙලනා ගැටළු ඇතිවිට
සිසිල සැඳුවා සනසමින් සිත

මෙමෙ මැඳුරෙ මෙන් රජභොජුන් සැම
නොතිබුණා මුත් ඔහුගෙ ළඟමට
වනයෙ ඵලවැල මිඅඹ, දං සැම
පිනෙවුවා මගෙ සියලු ගතසිත
ඔහුගෙ පපුතුර තුරුළු වී සිට

සාමා :- ( හසුනක් රැගෙන විත් උත්පලා කුමරියට දෙයි)

බලනු මැන උත්පලා කුමරිය
ඔබට පණිවුඩයක් ලැබී ඇත
ඈත සිට ආ දූතයෙකු දැන් මහට දීලා ගියා යන්නට
මා සිතන්නේ වෙළෙඳුගෙන්ම ය

( උත්පලා හසුන ගෙන බලයි )

උත්පලා :- ඔබට සිතුනා නිවැරදිය එය
මාගේ සැමියා එවා ඇත මෙය
අහෝ එනමුත් ඇත්තෙ දුකමයි
නැතිලු පැමිණෙනු මා දකින්නට
වෙළඳ කටයුතු බොහෝමලු එහි
මෙහි සිටින මට සුවෙන් සිටිනට
තෑගි එවනෙලු සගයෙකුන් අත

සාමා :- අහෝ එලෙසක වෙනම් ඒ තතු
කෙලෙස ඔබසිත සදන්නේ මම
කමක් නෑ අපගේ කුමරියනි
ඉවසා සිටිනුය - වෙළඳු එලෙසය
ලොවෙහි සුපතල

සූත්‍රධර :- ( ටික දිනකින් කෝසල නම් නන්දියගේ මිතුරු වෙළෙදෙකු උත්පලා කුමරියව බැහැදැකීමට පැමිණෙයි)

සාමා :-  කුමරියනි අසනු මැන - කුමරියනි අසනු මැන
වෙළඳ මිතුරෙකු ලෙසින් පැවසූ
කෙනෙකු ඇත මෙහි ඔබව දැකුමට
නන්දි වෙළෙඳුගෙ සගයෙකුලු ඔහු
ඔබට තෑගිද ගෙනැවිදින් ඇත

( උත්පලා කෝසලව හමුවීමට ආලිංගනයට පැමිණේ. කෝසල වෙළෙඳු වශීකෘත වී ඈ දෙස බලා සිටී)

උත්පලා :- මිතුරෙකු ද ඔබ මාගේ ස්වාමිගෙ
එලෙස පැවසිය මාගෙ යෙහෙළිය
මෙඅප මැඳුරයි පැමිණ සිටියව

කෝසල :- එසේ වෙමි පංචකල්‍යාණිය
ඔබගෙ රුව දැක වීය චංචල
කෙලෙස සිටිනු ද වෙළෙඳ නන්දිය
මෙහි දමා ඔබවැනි ප්‍රියාවක

( කෝසල උමතු වූ අයෙකු මෙන් උත්පලා කුමරිය හා සංවාදයේ යෙදෙයි.)

පාළු නොමැතිද තරුණ කුමරිය
කෙලෙස සිටිනුද මෙඔබ තනිවම
අකැප වන්නෙය සුන්දර වු ඔබ
පිරිමි ඇසුරක් නොලැබ ගතවන

උත්පලා :- එසේ නොකියව මිතුරු කෝසල
මාගෙ සැමියා ඒවි ළඟදිම
ඔහු සිටී මට ඇසුරු කරනට
මමයි ඔහුගේ බිරිද උත්පල

කෝසල :- අඥාණ වූ සිතුවිලිය එය
ඔබව රවටයි නන්දි වෙළඳන
වෙළදාමෙ යන නොයෙක් රටවල
නොයෙක් ලිය හා කරති රමණය
එයයි කාරණ ඔබව දැකුමට
මෙහි නොආවේ තවම නන්දිය

උත්පලා :- පවසන්නෙ ඔබ කිමද කෝසල
ඔහු නොවන්නෙද ඔබේ මිතුරෙක
ඔහුට එරෙහිව කියන මෙවදන්
කෙලෙස නම් මා පිළිගනුව වෙද

කෝසල :- එසෙයි සිත්කළු වූ ප්‍රියාවනි - ඔබේ රුව දැක මටම පුදුමව
ඔහුගෙ නොමනා සලල දිවියම - සිතිය පැවසීමට ඔබගෙ වෙත

උත්පලා :- කලකිරී ඇත මාගෙ හදවත
සත්‍යයක්නම් තෙපලන්නෙ ඔබ
ගෙවන දිවියෙහි අරුත කිමවෙද
කළා වූ පාපයක් දැයි පෙර
මේ කඩාවැටුණේ මහිස මත

කෝසල :- සරි නොවේ ඔබ හට එ නන්දිය
මවැනි තරුණෙකු පෑහෙ ඔබහට
කැමතිනම් ඔබ උත්පලාවනි
දෙනුය අවසර ඔබගෙ ඇසුරට

උත්පලා :- කුමක් දැයි මේ පවසන්නෙ නුඹ - උමතු වැටිලද සිටින්නේ ඔබ
දිවිය ඇතිතුරු තනිව සිටියද - නොහැකි වේ මට බිඳුම පතිවත
එලෙස වන ගැහැණියක නොව මම - මගෙන් එලෙසට පවිටු යමෙකක්
සිදුවුනෝතින් සාප වෙයි එය - මා හැදූ මගෙ මාපියන්ටත්
විවාවූයේ උන් නිසාමයි - උන්ගෙ සතොසක් ගැන සිතාමයි

( කෝසල වෙළදුන් උත්පලාව කෙසේ හෝ තම වසඟයට ගැනීමට උපායක් කල්පනා කරයි )

සූත්‍රධර :- කැඩුමට ගෞරවය
දෙගුරුන් කෙරේ ඇති
සිතමින් උපායද
නැවතත් අරභයි කතාව කෝසල

කෝසල :- ඔබ සිතන සේ නොවේ සොදුරිය
මාපියන් ඔබ හට ආලෙ නැත
ඔබව නන්දිය වෙළෙන්දන් හට
විවා කරවුයෙ ණයක් විලසට
නොදන්නෙද ඔබ
තවත් එමදෙය

උත්පලා :- කට වසාගනු උමතු වෙළදන
ඔබ කියන්නේ මගේ මව්පිය
ණය වූවා යැයි කාට කෙදිනට ?
මුසාබස් මට නොකියා පිටවනු
ඔබසේම ඔබගේ යහළුවත්
අප්‍රියයි මට වංචනිකයන්

කෝසල :- නොහැකිනම් කුමරියට අදහනු
කලක් දෙනු මැන ඔප්පු කරනෙමි
ඔබට වැටහෙයි මගේ මෙවදන්
සැබෑවක් බව හොඳින් එවකට

උත්පලා :- මගේ හිස දැන් අවුල් වී ඇත
කකියනවා ඔබ නිසා කෝකිල
තවත් නොසිටව පිටව යනුමැන
නම්බු අතැතිව පැමිණි අය ලෙස

සූත්‍රධර :-  නික්මුනත් කෝසල එ වෙළඳුන්
උත්පලාවන් ලැබගන්නතුරු
නොමැත ඔහුහට නොඉවසිල්ලක්

තමන්ගේ බලතල පතුරුවා
යැවිය අතවැසි මිනිසකුන් තම
සොයා එන ලෙස කෙලෙසකින් හෝ
උපාලිගෙ සංකේතයක් මෙහි

සොයා අවසන ඔහුගෙ අත්සන - ලිවිය කපටව එබොරු සටහන
ණය හිලවුවක් පියවු බව ඔහු - පාවා දීලා දියණි උත්පල

සිව්වන අංකය

( උත්පලා තම ස්වාමියා පිළිබඳව ඇසූ පුවතින් කම්පිතව සිත්සනසාගනු පිණිස උද්‍යානයේ සැරිසරයි. එක්වරම මාර්ගයේ දුටු දසුනකින් ඇය වඩාත් කම්පිත වේ )

සූත්‍රධර :- හුන් තැනින් නැගිටුණේ ඇයහට
දුටු දෙයින් වී හදම සලිතව
අනුරුද්ධ යයි මගෙහි පියමැන
වෙනත් කතකද සිටී අසලින
ඔහුගෙ වතමයි තිබෙන්නේ එම
කතගෙ ඇකයෙහි සිටින දරුවට

උත්පලා :- ( සාමාව අමතා )
විවාපත් වී ඇත එසේනම්
මෙමට පෙම්කළ සත්‍ය පෙම්වත
මගේ දිවියට ඔහුද නැතිවිය
මා ගෙවන මේ දිවිය කිමවෙද
සැප සම්පතින් කුමන ඵලවෙද
කම්පිතයි මා කලකිරෙයි සිත

සාමා :- කුමක් කරනු ද මාගේ කුමරිය - සිතා ඔබගේ ලැබීම ම බව
නොකම්පිත වී සිටිනු මැනවිය - ඔබත් සමඟින් සිටින්නෙමි මම

උත්පලා :- මිතුරු ඇසුරෙන් වෙන්ව මේ ලෙස
මාපියන් හැම දමා මේ ලෙස
හිමිගෙ රැකවරණයත් නොමැතිව
ගෙවන මාගේ දිවියෙ නැතසුව
මානසික කිසි නිදහසක් නැති
සිරගෙයක් ලෙස දැනෙයි මෙමැදුර

( කෝසල නැවතත් පැමිණේ )
කෝසල :- බලනු මැන මා සොඳුරු කුමරිය - ඔබට මා පැවසූවෙ සත්‍ය ය - නන්දියයි මෙය මවෙත දුන්නේ
තබා ගන්නට ඉතා සුරැකිව
නමුත් ඔබ මේ මුලාවෙන් තව
ගෙවන දිවියෙහි නිම දකින්නට - මුලාවෙන් ඔබ මුදවගන්නට
ගෙනාවෙමි මම - රහස් පත්කඩ

උත්පලා :-  ( පත්කඩ දිගැර බලා )
අහෝ දෙවියනි ! අහෝ දෙවියනි !
කුමක් දැයි මා නෙතු දකින්නේ
පියතුමන්ගේ සංකේතෙමයි
ණයට පියවා තිබෙන්නේ මා

එසේ නම් උන් මට ආලෙ නැත - මගේ ඉරණම කලින් දැන ඇත
මෙවන් දුකකට මා හෙලූවේ - උන්ගෙ වරදයි අහෝ දෙවියන !

කිසිවෙකුත් මට ආලෙ නොමැතිය - මගේ ප්‍රේමෙ ද මට අහිමි විය
සළල වෙළෙදෙකු සමඟ එක්වී - මගේ දිවියම මුලාවක් විය

කෝසල :- පත්ව සිටිනා ඔබගෙ මේ දුක - හොඳින් වැටහෙමි ප්‍රියාවිය මට
දුකෙන් මුදවනු හැකිය මාහට - එනුය නොපැකිල මාගේ සෙවනට

උත්පලා :- වසර ගණනක් මුලා වූවෙමි - තවත් නොහැකිය මුලාවන්නට
ඔබගෙ මිතුරා මාගෙ හිමිනම් - ඔබත් ඔහු වැන්නකුම විය යුත

( උත්පලා වේදනාවෙන් දිවයයි. සිව්මහල් ප්‍රාසාදයේ ඉහළටම දිවගොස් හඩා වැලපේ. කෝසලද ඇය පසුපස හබාඑයි. සාමා ඔහුව වැළක්වීමට ගත් උත්සාහය නිශ්ඵල වේ)

කෝසල :- නොහඩන්න පංචකල්‍යාණිය - මෙමට හැක ඔබ දිවිය රැකුමට
මෙතෙක් කල් මා සොයා විමසුවෙ - ඔබ වැනිම වූ කතකි සරණට

උත්පලා :- පිටව යනු මැන ඔබ මෙ මැදුරෙන්
නොමැත අවසර මාගෙ හදතුළ
දුෂ්ඨයෙක්මයි ඔබත් පෙනුමින
පිටව යනු මැන දැන්ම මැදුරෙන

කෝසල :- එසේ කෙලෙසද පිටව යන්නේ
බලෙන් හෝ ඔබ ලබාගන්නෙමි
ඉවසුවේ මම දිනත් සතිහැර
දෑස් පියනට නොහැක මැදියම
මවෙත එනුමැන ප්‍රියාවිය සොඳ
සල්ලාල වූ ඔබගෙ හිමියට
රැකුම පතිවත වේය නිශ්ඵල

( කෝසල වෙළදු උත්පලා දෙසට පැමිණේ. ඇයගෙ උරහිසින් තදින් අල්වාගෙන ඇයව තමාවෙත රැගෙන යාමට වෙර දරයි.)

සූත්‍රධර :- කෝසලව හා කුමරි පොරබැද
යනෙන අතරෙදි පැමිණි සාමාද
එලවා දැමුයේ වැරින් පහරව
කෝසලයි ඒ උමතු වෙළදන

උත්පලා සියුමැලි ළඳුන්හට
තවත් නොහැකිය උසුල ගැනුමට
ඇගේ දෑතින් අදින විටදී
ඔලුව හැපුනිය වැරෙන් කණුවක

රුධිර ගංගා ගලාගොස් බිම
පොළොව වැළඳගෙන වැතිර එතනම
දෑස් පියෙවුවා සදහට දිවියෙන
ආදරයක් ඉල්ලනවා විලසින්
කෲර සමාජෙන් ඇයහට නොලැබුණු

සූත්‍රධර :- කෲර සමාජෙන් ඇයහට නොලැබුණු
දෙයක් ද නැතහොත් කරුමෙ ද ඒ ඇගෙ
පෙරදින දෛවයෙ ලියවී තිබු සේ
පෙර අකුසලය ද මෙලෙසින් නිමවුණ.



-නිමි-

Comments

  1. අනුවේදනීය කතාවක් 🌹💔
    අපූරුවට, ලස්සනට ලියල. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි 😊❤

      Delete

Post a Comment

Popular posts from this blog

පක්ෂපාතීත්වය

තැබෑරුම