තැබෑරුම

 

                                     ....තැබෑරුම...

                                                02 කොටස.

          එදිනට පසු දින සෙනසුරාදා දිනයක් විය.කාංචනා බෝධි පූජාවක් පැවැත්වීම සඳහා යොදාගත්තේ මෙදා ය.ගුණපාල ගමේ ගෙවල් දෙක තුනකම ඇවිද මල්වට්ටි හත අටක් පිරෙන්න මල් සොයාගෙන ආවේ එහෙයිනි.

අහස වැහි වළාකුළුවලින් බරව තිබිණි.කාංචනා සහ කාන්ති සවස බෝධි පූජාව පැවැත්වීමට පන්සලට ගිය ද ගුණපාල නිවසේ නතර විය.

           බෝධිපූජාව අතරතුර යන්තම් පොදයක් වැටෙමින් තිබිණ. එනමුත් වැස්ස සැර වීමට පෙර බෝධිපූජාව සාර්ථකව නිමකර ගැනීමට ඔවුන්ට හැකිවිය.පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ කාංචනාගේ අතේ පිරිත්නූලක් ගැටගසා ඇයට ආශිර්වාද කළේය.

         " ඒක නෙවෙයි කාන්ති උපාසක අම්මේ, අද මොකද මේ ගුණපාල උන්නැහේ ආවෙ නැත්තෙ."

         " එයැයිට මේ දවස්වල කුඹුරෙ වැඩනෙ අපෙ හාමුදුරුවනේ, මහන්සියි කියලයි නෑවිත් හිටියෙ "

        " ආ.... එහෙමද ? මං මේ බැලුවා උන්නැහෙ පන්සලට නාවෙ ඇයිද කියලා. " 

      " එහෙනම් අපේ හාමුදුරුවනේ අපි ගිහින් එන්නම්"

     " හා හොඳයි ගිහින් එන්න.තෙරුවන් සරණයි! සුවපත් වේවා!"

            මේ අතර වැහි බිදු කෙමෙන් කෙමෙන් පොළොව සිපගන්නට විය. වැහි පින්නේ වුවද ගුණපාලට තම සුපුරුදු කාර්යය නවතා ගැනීමට නොහැකි විය.ඔහු පහත් වී තිබෙන කොන්ක්‍රීට් පාළමෙන් යුතු කෝසුව දෙසට ගමන් කරන්නේ තැබෑරුමේ සිටින තම මිතුරන්ගේ හිනාහඩින් පරිසරය පිරී යද්දීය. සුපුරුදු පරිදි බීමෙන් සප්පායම්වන  ඔහුට  ගැන්සිය හා එක් වූ විට කාලය ගෙවීගියේ නොදැනීමය.

        කාන්ති සහ දියණිය පන්සලෙන් පිටත්වනවාත් සමඟම වැහිපින්න අනෝරා වැස්සක් දක්වා වර්ධන වන්නට විය.

     " අම්මේ දැන් අපි කොහොමද යන්නෙ.පයින්නම්  යන්න තබා හිතන්නවත් වෙන්නෙ නෑ මේ වැස්සෙ."

   " එහෙනම් අර කඩමණ්ඩියට යමු විගහට. එතනින් බැරියැ භානුක  පුතාගෙ ත්‍රීවීල් එකවත් හයර් කොරන් යන්න."

    " ඔව් අම්මෙ අපි එහෙම කරමු.නැත්තන් අද යනවා බොරු."

      විනාඩි කිහිපයකට පසු ත්‍රීවීල් රථය පැමිණියේ ය.ගුණපාලගේ දියණිය සහ බිරිඳ ත්‍රීවිල් රථයේ නැගී නිවස කරා පැමිණෙමින් සිටියෝය.

     " ආනේ  දුවේ කෝස් එකෙන් වතුර දාලද දන්නෙ නෑ.අද වහින විදිහටනම් කෝසුව උතුරනවත් ඇති මෙලහකට."

   " ඔව් අම්මෙ මේ ගියාට පැයකටවත් කෝසුවෙන් එගොඩ වෙන්න වෙන එකක් නෑ. පොඩි වැස්සටත් ඕක උතුරන එකනෙ."

       ඔවුන්ට හැඟුණ දේ එසේම වී තිබිණ.ගගේ ඉහළ තිබූ විශාල කොට, පඳුරු, මුල් සහ කොළරොඩු ආදී සියල්ල ගගේ ගසාගෙන විත් තිබිණ. ඇතැම් ඒවා කෝසුව උඩින් පාවී මෙන් ගගේ පහළට ගසාගෙන ගියේ කඩදාසි බෝට්ටු මෙන් සැහැල්ලුවෙනි.

බොහෝ වේලාවක් යහළුවන් සමඟ බර කතාවක වැටීසිටි ගුණපාලට බිරිද හා දරුවන් එක්වරම සිහිවන්නට විය. තැබෑරුම අසල වූ වඩේ කඩයෙන් වඩේ දෙකක් මිලදී ගත් ඔහු පාලම දෙසට සෙමෙන් ගමන් කරන්නට විය. කොතරම් බිවුවද දියණිට සිහිවී වඩේ රැගෙනඒම ගුණපාලගේ පුරුද්දකි. දිග කුඩය අතින්ගත් ඔහු එය අටවාගෙන කෝසුව අසලට කිට්ටු වුණේය. බීමත් වීමෙන් විසිවී යන ඔහුගේ ගමන,මීටර් 50 ක් පමණ කෝසුව අසලට වූ දුර විනාඩි දෙකක් යාමට පෙර ගෙවා දැමුවේය. 

            කෝසුව අසලට පැමිණි ඔහුහට කෝසුවේ එහා කෙළවර වූ තම බිරිද හා දියණිය දිස්වන්නට විය. එක්වරම ඔහුගේ සිතට නැගුණේ ඔවුන්ව කැටුව මෙගොඩට පැමිණීමේ බලාපොරොත්තුවයි. දිය පහරෙහි චණ්ඩ ස්වාභාවය කොතෙක්දැයි මත් වූ මනසින් සිටි ඔහුට වගක් නැත.එබැවින් වැනෙන සිරුරත් ඇතිව පය ඉක්මන් කර දියට බැසීමට ඔහු යන්නේ තමා පිළිබඳ මවාගත් උජාරුවකිනි.

    " කාන්තියෝ...කෙල්ලේ...උඹලා බය නැතුව හිටපල්ලා.අප්පච්චි එනවා උඹලව ගන්න." 

 මහ හඩින් කෑ ගසමින් සැඩ දිය පහර හා පොරයට එන ඔහු තුළ ඇත්තේ වචනවල සවිය පමණකි.ගතද මත් වූ මනසේ රූකඩයක් වී හමාරය. එය වටහාගත් බිරිද සහ දියණිය මහත් සේ කලබලයට පත්වූහ.

     " අනේ අප්පච්චී...වතුර පාර සැරයි.එන්න එපෝ...පොඩ්ඩක් වතුර අඩුවෙනකන් ඉන්ඩෝ...."

 බොරදියේ හඩ කාංචනාගේ හඩ පරයා ගියේය.ගුණපාලට ඔවුන් කෑ ගැසන හඩ නෑසිණි.ඇසුනත් ඔහු තරම් ජගතෙක් නැතැයි සිතෙන තරමට ඔහුගේ සිත චන්චලය.

      ඉතා පටුවට පිහිටා ඇති කෝසුව බොරදියසළුවකින් වසාගෙන හමාරය. රාත්‍රීයේ ඒ සමඟ ගසාගෙන ආ කොළරොඩුද කෝටු කැබලි හා හරස් වූ විශාල කොටන් කෝසුකට වසාගෙනය. ගුණපාල ඒ අතර යුධපිටියට යන්නෙකු සේ සිතින් අධිතක්සේරු ඇතිව සික්සැක් ක්‍රමයට තම ගමන ඇරඹීය.

        අවට කළුවර වූ පරිසරයත් ගංගොඩේ වනලැහැබෙන් හමා ආ තද සුළඟත් ගතකිලිපොලා යන සීතලකින් හා මූසල ශබ්දයකින් පෙදෙසම ආරූඪ  කරගෙනය.

     තත්පර කිහිපයක් ගතවිණි.කොටයක් දියපහරට වැටෙන්නාක් මෙන් ජබොක් හඬින්  සැඩපහරට අසු වූ යමක් මොහොතකින් දියබුබුළු නගිනු සඳ එළියෙන් දිස්වන්නට විය. දියබුබුළුවලට සාක්ෂි කියමින් ගුණපාලගේ අතෙහි වූ විදුලිපන්දම් එළිය හිත් පිත් නැති අයෙකු මෙන් බොරදිය රැගෙන යනු පෙනුනේය.ඒ විදුලිපන්දම් එළිය සමඟම කාන්තිගේ හා කාංචනාගේ ලොවේ ආලෝකය ද සදහටම එලෙස නිවී ගියේය.


                                                              චලා හේරත් ....🖊️

 


        

 


Comments

Post a Comment

Popular posts from this blog

උත්පලා

පක්ෂපාතීත්වය

තැබෑරුම