තැබෑරුම

                                ....තැබෑරුම... 

                                               01 කොටස


       ගුණපාල ඉස්තෝප්පු බැම්මේ ඇන තියාගෙන පහළ වෙල දෙස තෙහෙට්ටුවෙන් පිරි කල්පනාකාරී ස්වරූපයෙන් බලා සිටියේය.කට්ට අවුවේ වැඩ කරමි සිට පැමිණි ඔහුගේ ඇස් නිලංකාර වී තිබිණි.ටොමියා ගුණපාල අසලට දුවගෙන විත් වලිගය නටව නටවා තෙත් වූ හොම්බෙන් ඔහුගේ කකුල ස්පර්ශ කරයි.නැවතත් පිටුපසට පැන කූං..කූං..යන කෙදිරිල්ල නගයි.

     '' හ්ම්..හරි හරි පලයං ඉතිං අහකට ''

ටොමියාගේ ලෙන්ගතුකම හොඳින් හඳුනන ගුණපාල උගේ හිසට තට්ටුවක් දමමින් කීවේය.

     " ආ...ඔයා ආවද ? මං බැලුවා ටොමියා මේ              කෙදිරිගාන්නෙ කාටද කියලා "

    ඉස්තෝප්පුවට ගොඩවෙමින් සිටි ගුණපාලගේ බිරිද කාන්ති පැවසීය.

    "යාන්තම් ඇති ඕං පෙරේදා පටන්ගත්තු වල්ගැලවිල්ල අදින් අහවර වුණා.ඒකෙ වල් බුස්ස.නැමිලා ඉදල ම කොන්ද රිදෙනවා."

ගොයම් පැල පරයා නැගෙමින් තිබූ වල්පැල ගලවා පැමිණි ගුණපාල සැනසුම් සුසුමක් හෙලමින් පවසයි.

   "ඒක තමයි මේ සැරෙත් කිසිම වගතුවක් නැති පාටයි.අපි නිකම් මහන්සි වෙනවා විතරයි.ඒ කරලත් ගන්න වී බුසල් ටිකෙන් පංගුවක් හවුල් කාරයින්ට දුන්නම ඉතිරි වෙන්නෙ වී බෑක් තුන හතරක් විතරයි"

කාන්ති කලකිරුණු ස්වරූපයෙන් පැවසීය.

 " ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා තමයි, හැබැයි ඔය කියන විදිහට කුඹුර අතෑරලා දැම්මොත් මං වෙන මොනවා කියලා කොරන්ඩද ? අපි පුංචි සන්දියේ ඉදලා කුඹුරු වැඩ කෙරුවා මිසක් වෙන සාස්තරයක් ඉගෙන ගත්ත එකක් යැ."

  " අනේ මන්ද ඔහෙගෙ  කැමැත්තක් ඉතිං "

  කාන්ති පැවසීමට යමක් නොමැති හෙයින් එසේ පවසා කුස්සියට ගියේ ගුණපාලට තේ කෝප්පයක් වක්කරගෙන ඒමටය. 

උළු සෙවිලි කර සාදා තිබූ ගුණපාලගේ නිවස මැටියෙන් බිත්ති ගොඩනගන ලද්දක් විය. මැටි බිත්තිය ඔපවත් වූයේ සුදු හුණු ආලේප කර තිබූ නිසාය.තරමක් උස් ස්ථානයක සාදා තිබූ මේ නිවස කදුරේ සිට බලන්නෙකුට ඉතා හොඳින් දර්ශනය වේ.කදුර අසල පිහිටි නිසා ගම්මුන් මෙය හැඳින්වූයේ "කදුරේ ගෙදර" යනුවෙනි.

   අදුර වැටීගෙන ආවේය.මාස කිහිපයකට පෙර ගමේ විවෘත කළ තැබෑරුමෙන් සවසට රා බීමට ගුණපාල නොදැනීම ඇබ්බැහි වී තිබුණි. ඔහු සුපුරුදු පරිදි මාන හෙමි හෙමින් මාන බලන්නේ කාන්තිගේ ග්‍රහණයෙන් ඉවත්ව ගෙයින් පැන ගැනීමට ය. කාමරයට ගොස් කමිස සාක්කුවට සල්ලි ඔබාගත් ගුණපාල ආදකු මෙන් ගෙයින් පිටව ගියේය.

ගෙයින් පිටත් වී ගල් පඬිපේළිය දිගේ බැසයන ගුණපාලගේ ස්වාභාවය විමසිලිමත් මීමින්නකුගෙ මෙනැයි ඈත සිට බලන්නෙකුට සිතේ.ඔහුගේ ගෙට පහළින් ඇති කඳුරට මළහිරු වැටීම නිසා එහි ජල සීරාව රන්තැඹිලියක පැහැයෙන් බැබලෙන්නට විය.දිවා කාලයේ කුඹුරු යායවල වීකුරුල්ලන් එලවන රතිඤ්ඤා ශබ්දයත්, කොළපිති පහරවලුත් ගැමියන්ගේ කෑගැහිල්ලත් ආදී කැළඹිලිකාරී ස්වාභාවය සැදෑ සමයේ මෙහි නොවීය. ඒ වෙනුවට වෙල් යායෙන් ඇසුණේ මද සුළඟට පැද්දී ගීත ගයන නිල් ගොයම පමණි. එය තම හතුරන් උගුලා ඉවත් කිරීම පිළිබඳව ගුණපාලට තුති ගී ගයන්නාක් මෙනි.

          මළහිරු බැසයන විට ගෙවිලියන් හෝ කුඩාකෙල්ලක් එළිපහලියේ දක්නට නොලැබිණි.එනමුත් ගුණපාල වැනි සුරාමත්තක ගොවීන් නම් මේ වන විට රා තැබෑරුම දෙසට ඇදී යන අයුරු දැකගත හැකි වේ. 

     " මේ...තමුසෙ අද එහෙම අර තැබෑරුම අස්සෙ රිංගන්න.අපේ එකම දුව අසනීපෙන් ඉන්න එකී වෙච්චි.ඒකිට අමාරුවක් වුනොත් මේ රාත්තිරියෙ,මට තනියම ඉස්පිරිතාලෙ එක්ක යන්න පුළුවන් යැ."

     කාන්ති මෙසේ ගුණපාල නිවසේ සිටී යැයි සිතා බැණ වදින්නේ ඔවුන්ගේ දියණිය කාංචනා පළමු දරු ප්‍රසූතිය සඳහා මහ ගෙදරට පැමිණ සිටින බැවිණි.කාන්ති තම සැමියාගේ බීමත්කම ගැන කියා දොස්නගන විට ඊට එකට එක කීම ගුණපාලගේ පුරුද්දකි.නමුත් මෙ දින කිසිම ප්‍රතිචාරයක් ඔහුගෙන් නොවීය. ගුණපාල මේ වන විටත් ගෙයින් පිට වී ඇති නියාව කාන්තිටත් ඔවුන්ගේ දියණියටත් වටහා ගැනීම එතරම් අපහසු නොවූයේ එහෙයිනි.

      " අනේ අම්මෙ මොනවා කිවුවත් වැඩක් තියේ ඇ, අප්පච්චි කලින් ඉදලම බීමට හුරු වුණ එකේ.දැන් ඉතිං ගමේම තැබෑරුමක් තියෙද්දි ගෙදරට වෙලා ඉදියිද?" කාංචනා එසේ පැවසුවේ තම පියා පිළිබඳව  ඇගේ සිතට නැගුණු කණස්සල්ලක් පිරි ස්වරයෙනි.

      " මෙවුවා සේරටම මුල ආණ්ඩුව.ඕකුන් මේ වගේ තැබෑරුම්වලට ලැයිසොන් දෙනවනෙ අම්මපා. අපේ මනුස්සයටත් දැන් වයස අවුරුදු 58 ක් වෙච්චි, කොච්චර බිවුවත් පෙරේතකමේ සීමාවක් තියෙ යැ.වැඩ කරලා ඇගේ මහන්සිය නිවාගන්න කදිම ඖසදයක් හොයාගත්තා කියලා වෙන්ඩ යැ හිතාන ඇත්තෙ."

කාන්තිගෙ හිතට නැගෙන වේදනාව වචන වලට පරිවර්තනය වූයේ එලෙසිණි. ඇය තම සැමියා ඇබ්බැහි වී සිටින අයහපත් ක්‍රියාවෙන් මුදවාගැනීමට මෙවැනි වදන් තෙපලන්නේ ඇයගේ සිතේ ගුණපාල කෙරෙහි වන භක්ති ප්‍රේමය නිසාම ය. ගුණපාලගේ බීමත්කම වරදකට තිබුණ ද ඔහු හිත හොඳ, නිහතමානී,ගුණයහපත් පුද්ගලයෙකු බව ගම්මුන් අතර නිතර කතාබහට ලක් වූ කරුණකි.


                                                     චලා හේරත් ...🖊️

Comments

Post a Comment

Popular posts from this blog

උත්පලා

පක්ෂපාතීත්වය