ඔබෙ නමට සිතුවමක්

 


           ශිෂ්‍යයාවක් තම දේශනයකට සම්බන්ධ වී සිටියි.

ගුරුතුමා:- ළමයි ඒකට තමයි චිත්‍රයක් කියන්නෙ.අපිට  වචනයෙන් කියන්න පුලුවන් දෙයක් නම් වචනයෙන් කියනවා. එහෙම බැරි දේවල් කියන්න චිත්‍ර ශිල්පියා  පින්සල භාවිතා කරනවා.අපිට මේ චිත්‍රය දිහා බලලා පැහැදිලි අදහසක් ගන්න බැරිවුණ ත් දළ අදහසක් ගන්න පුලුවන්. සිත්තරාට කියන්න බැරි දේවල් පින්සල භාවිතයෙන් කරලා ප්‍රකාශ කරනවා.චිත්‍රය කියන්නෙ එක්තරා විටකදි සංකේතාත්මක භාෂාවක්.

     ගුරුතුමා පැවසූ දෙයත් සමඟ ඈ අතීතයේ  සැබෑ අද්දැකීමකට ඇදී යයි.එය ඇගේම සිතුවමක් තම පෙම්වතාට පෙන්වා සිටි මොහොතකි.

ඇය :- මං කලින් ඇන්ද චිත්‍රයක්, ලස්සනයි ද?

ඔහු :- ඔව් ලස්සනයි 😊

ඇය :- දන්නවද? මං මේක දවසක් ඔයාට දෙන්න        හිතාගෙන ඇන්දෙ.

ඔහු :- ආ එහෙමද?😁

ඇය:-  ඔව්.මතකද දවසක් ඔයා කිවුවා මෝස්තර චිත්‍රවලට තමයි ගොඩක් කැමති කියලා.අර.., මං බුදු පින්තූරයක් ඇදලා දුන්න දවසෙ.

ඔහු :- ආ...!ඔව් මතකයි.

ඇය :- ඉතිං මං ගෙදර ඇවිල්ලා ඕක ඔයාට දෙන්න තමයි ඇන්දෙ. ඒත් ඒක දෙන්න බැරිවුණා.   එවන්නත් හදලා ආය මොකුත් හිතයි කියලා නිකන් හිටියා.

ඔහු :- එවන්නනෙ තිබුණෙ ඉතිං

ඇය :- එතකොට අපි යාළුවෙලත් නෑ. ඕකෙ හතර පැත්තෙ තියෙන්නෙ  Heart හතරක්. ඔයාට ආදරෙයි කියලා වචනෙන් කියන්න බැරි දේ මං එහෙම කියන්න හැදුවෙ.

අවට හෙන්දිරික්කා මල් ඇගේ මුහුණේ ලජ්ජාශීලීබව ආරෝපණය කරගත්තාක් වැනිය.

ඔහු :- මෙයා බලන්ටකො 😁 

ඔහු ඇගේ ක්‍රියාවෙන් පුදුමයටත් ප්‍රීතියටත් පත්වූ ස්වරයෙන් කියයි.

ඇය :- හී..එතකොට ඉතිං ඔයත් මට කැමතියි කියලා කියාගන්න බැරුව එක එක ඇගවීම් කරපු කාලෙ තමයි ඒ.

ඔහු :- ආහ්..😁😁

ඇය :- මං මොස්තර අදින්න දන්නෙත් නෑ ප්‍රකාශන චිත්‍රනෙ මං කරේ. ඔයා කැමතියි කිවුව නිසා තමයි ඕක ඇන්දෙ.අඩුපාඩුනම් ඇති ඒ නිසා 🙃

ඔහු ආදරණීය ලෙස ඇය දෙස බලා සිටී.

               මොහොතකින් ඒ මතකයෙන් සැබෑ ලෝකයට  පැමිණි ඇය යළිත් සිතන්නේ ගුරුතුමා පැවසූ කාරණය කෙතරම් සත්‍ය කරුණක් වන්නේ ද යන බවයි.

               චිත්‍රය යනු හුදෙක් ස්වාභාවික ලෝකයේ පවතින දෑ ඒ අයුරින්ම නිමවීම නොවේ. ස්වාභාවිකවාදී චිත්‍රය, චිත්‍ර කලාවෙහි එක් පැතිකඩක් පමණි. අධියථාර්ථවාදය ආදී චිත්‍ර කලාවන් ඊට හාත්පසින් ම වෙනස් ය. එය සැබෑ ලෝකය හා තම මනස සමඟ එක්ව ඇතිකරගන්නා ගැටුමක ප්‍රතිඵලයකි. එනම් අවිඤාණය සහ සවිඤාණය අතර දෝලන කලාපයෙහි හට ගත්තකි.

              "චිත්‍රය තුළින් චිත්‍ර ශිල්පියා නිරූපණය කරයි" යනුවෙන් වැකියක් පවතී. එය කෙතරම් නිවැරදිද? ඇතැම් විට චිත්‍රයක් තුළින් නිරූපණය වන්නේ ශිල්පියාගේ සිතෙහි සිර වූ අන් අයුරකින් ප්‍රකාශ කළ නොහැකි හැඟීම් සමුදායක් වේ.

               මෙය සාහිත්‍යයකරුවන්ට ද පොඳු ය. එදිරිවීර සරත්චන්ද්‍රයන්ට විශිෂ්ඨ නාට්‍යය  නිර්මාණ බිහි කිරීමට තම පෞද්ගලික අද්දැකීම් හේතු වී ඇත.ඔහුගේ ප්‍රථම විවාහයේ බිරිද ඔහු හැර යාම, ඔහුට දරුවන්ගෙන් වෙන්වීමට සිදුවීම අදිය ඔහුගේ දුක්ඛදායක අද්දැකීම් ය.සරත්චන්ද්‍රයන් විසින් එසේ තම අද්දැකීම් අළලා සිදු  කළ කලා නිර්මාණයන් ලෙස මනමේ නාට්‍යය, සිංහබාහු නාට්‍යය ආදිය හඳුනා ගැනීමට පුළුවන.

මානවවාදය සාහිත්‍යය විචාරයේ ද සඳහන් වන පරිදි කලාකරුවාට තමා ජීවත්වන පරිසරය තුළින් තම නිර්මාණය ට අදාළ අංග නොදැනුවත්ව ම එකතු වේ. විමලරත්න කුමාරගම වැනි කවීන් තමා උපන් පරිසරය අළලා බොහෝ කවි නිර්මාණය කරන්නට ඇත්තේ ද එබැවිණි. ඔහු තමා උපන් වන්නි පරිසරය පාදක කොට ගනිමින් නිම වූ "වන්නියේ හැන්දෑව" කවිය, සහෘදයාව ඔහුගේ ගම් පියසට, එහිදී විදින හැඟීම් හා වින්දනයන් වලට  ඉබේ ම  රැගෙන යයි.

                  චිත්‍රය ද එවැන්නකි. සිත්තරාගේ සිතෙහි ගැඹුරු ම තැන්වල තැම්පත් වූ සිතෙහි කාවැදුණු ඇතැම් කරුණු චිත්‍රය තුළින් මතුවීම යනු කෙතරම් සත්‍යක් ද යන්න දේශණයේ අතරතුර ඇයට සිහිවූයේ මුහුණට තවත් ප්‍රියමනාපභාවයක් ද එක් කරමිණි.

එකල ඇගේ සිත්ගත් තරුණයාට ඇදි සිතුවම සඳහා ඇය, හදවතේ පැහැයට සමාන රතුවර්ණයේ විවිධ ප්‍රභේද භාවිතා කළාය. ඒ තම සිතෙහි සැඟව ඇති හැඟීම් වඩා තීවෘව ප්‍රකඨ කිරීමට ය. හතර පැත්තේ කලාත්මකව ඇදි හදවත් සංකේත හතර ඇය ඇන්දේ ඔහුට පමණක් තේරුම් යන අයුරිණි. ඔහු තම සිතුවම හොඳින් නිරීක්ෂණය කරනු ඇතැයි ඇය විශ්වාස කළාය.

          සියලු සිහිපත්වීම් අවසන සියුම් සිනහවක් මුවගට නංවාගත් ඈ තවත් උද්දාමයට පත් වූයේ ඇගේ විෂයට සම්බන්ධ පැවරුමක් ද සිහිපත් වීමෙන් ය. තම හිස දෙපසට වනමින් පෑනෙන් කම්මුලට තට්ටුකරන ඈ යළිත් මිමිනුවේ " ඔබෙ නමට සිතුවමක්" යන්න පමණි.



                                                              චලා හේරත් ..🖊️ 

Comments

Post a Comment

Popular posts from this blog

උත්පලා

පක්ෂපාතීත්වය

කිරිමුහුද හා සඳමඩල